දැනගෙන හිටිය ද? Fake News හොයාගන්නේ මෙන්න මෙහෙමයි !


 

අද ලෝකයේ තොරතුරු විදුලි වේගයකින් සමාජ මාධ්‍ය හරහා පතුරන අතර, ව්‍යාජ පුවත් සත්‍යට වඩා වේගයකින් ව්‍යාප්ත වේ. ඒ නිසාම ඔබ මාධ්‍යවේදියකු වුවත්, සාමාන්‍ය පුරවැසියෙකු වුවත්, ව්‍යාජ පුවත් හඳුනා ගැනීමේ හැකියාව තිබීම අත්‍යවශ්‍යය. වැරදි තොරතුරු රැඳී සිටින පුද්ගලයින්ට හානි කළ හැකි අතර, මහජන ආරක්ෂාවට හානිදායක විය හැකිය. මෙහි දී, ව්‍යාජ පුවත් හඳුනාගැනීම සඳහා පහසු සහ විශ්වාසදායක ක්‍රම පහක් හදුනාගත හැකි ය.

1. මූලාශ්‍රය පරීක්ෂා කරන්න !


යම් පුවතක් ඇස ගැටුණු විට, මෙම පුවත මොන මූලාශ්‍රයකින්ද යන්න විමසන්න. විශ්වාසදායක මාධ්‍ය ආයතන සම්මත නීති සහ රීති පවත්වාගෙන යන අතර, මූලාශ්‍ර සඳහන් කරයි. එසේ ම යම් ආකාරයකින් එම ප්‍රවෘත්ති පිළිබඳ වරදක් සිදු වූ විට වගකීම භාරගනී. නමින් නොදන්නා බ්ලොග් එකක් හෝ සමාජ මාධ්‍ය පණිවුඩයක් විශ්වාස කිරීමට මෙන්ම බෙදා හැරීමට පෙර එය BBC, Reuters හෝ AP News වැනි විශ්වාසදායක මාධ්‍යවලින් සනාථ වී ඇති දැයි බැලිය යුතු ය. ව්‍යාජ පුවත් බොහෝ විට නොසිතෙන ආකාරයෙන් සමාජ මාධ්‍ය තුළ පැතිරීම වර්තමානයේ සාමාන්‍යකරණය වී ඇති නිසා මූලාශ්‍ර පරික්ෂාව ඉතා වැදගත් ය.

2. පින්තූර පිළිබඳ ආපසු සෙවීමක් කරන්න!


හැම විටකම වචනවලට වඩා ඡායාරූප බලවත් වන අතර, බොහෝ විට ඒවා එම පුවත හා අදාළ නොවන පරිදි භාවිතා වේ. එම ඡායාරූප වසර ගණනාවක් පැරණි හෝ වෙනත් රටකින් ලබා ගත්, අනවශ්‍ය මහජන කැලඹීම් ඇති කළ හැකි ආකාරයේ ඡායාරූප විය හැකි යි. Google Reverse Image Search හෝ TinEye වැනි මෙවලම් භාවිතයෙන් එම පින්තූරයේ ආරම්භය සොයා ගන්න. එවිට එය එම පුවත මඟින් අදහස් කරන ලද සිදුවීමකට අදාළදැ'යි ඔබට තීරණය කළ හැකිය.

3. මාතෘකා පිළිබඳ සැලකිලිමත් වන්න!

වර්තමානයේ Clickbait (සැලසුම් කළ මාතෘකා)  අන්තර්ගතය විශාල වශයෙන් විකෘති කර ඉදිරිපත් කීරීම සාමාන්‍ය වී ඇත. සියල්ල මහත් උද්වේගයකින් හෝ අතිශය කුතුහලයක් ඇතිවන පරිදි ඉදිරිපත් කිරීම මෙහි දී සිදු වේ. උදා: "ඔයා විශ්වාස කරන්නෙ නැති වෙනවා!", "අවසානය අමුතුයි!" වැනි මාතෘකා යෙදීම සිදු වේ. නිරන්තර සැලකිලිමත් වන්න. විශ්වාසදායක පුවත්පත් යථාර්ථය වාර්තා කිරීම පමණක් මූලික කර ගනී. මෙවැනි අන්තර්ගතය විකෘති කර Views ලබා ගැනීමේ පරමාර්තයෙන් යොදන මාතෘකා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න.

4. සන්දර්භය තේරුම් ගන්න !

සමහර තොරතුරු බොහෝවිට සම්පූර්ණයෙන්ම අසත්‍ය ඒවා නොවේ. නමුත් ඒවා ව්‍යාජ වන්නේ සන්ධර්භය තුළ නිවැරදි තොරතුරු ඉවත් කර ඇති විට ය. උදා: අපරාධ සංඛ්‍යා ලේඛන හෝ සෞඛ්‍ය දත්ත ආදිය සත්‍ය සංදර්භයකින් තොරව ඉදිරිපත් කළහොත් ඒවා ව්‍යාජ පුවත් ලෙස භාවිත කළ හැකි ය. මුල් මාතෘකාව කියවීමෙන් හෝ මුල් කොටස නැරඹීමෙන් ම ඔබේ තීරණය ලබා නොගන්න. ලිපිය මුළුමනින්ම කියවන්න. වැඩසටහන් සම්පූර්ණ නරඹන්න. එහි සත්‍ය අසත්‍ය බව පිළිබඳ විවේචනාත්මක මනසකින් නිරන්තර කටයුතු කරන්න.

5. සත්‍ය පරීක්ෂා කිරීමේ මෙවලම් භාවිතා කරන්න !

යම් පුවතක් පිළිබඳ ව ඔබට සැකයක් ඇත්නම්, විශ්වාසදායක තොරතුරු පරීක්ෂා කිරීමේ වෙබ් අඩවි භාවිත කරන්න. Snopes, FactCheck.org, PolitiFact සහ Google Fact Check Explorer වැනි වෙබ් අඩවි ව්‍යාජ පුවත් හඳුනා ගැනීමට සහ එවැනි පුවත්වලට පිළිතුරු සැපයීමට උපකාරී වේ. මෙම සේවාවන් නොමිලේ ඔබට ලබා ගත හැකි අතර, නිතර යාවත්කාලීන කරන ලද සහ මාධ්‍ය වෘත්තිකයින්ගේ විශ්වාසයට පාත්‍ර වූ සේවාවන් ය.

අපි ජීවත්වෙන්නේ තොරතුරු සහ අතථ්‍යයන් මිශ්‍ර වූ ලෝකය ය. එනිසා පුවතක් බෙදාහරින විට හෝ විශ්වාසයට ගැනීමට පෙර මිනිත්තු කිහිපයක් ගත කරන්න. මෙවැනි පියවර කිහිපයක් අනුගමනය කිරීමෙන්, ඔබ සත්‍යය ආරක්ෂා කරමින් වගකිවයුතු පුරවැසියෙකු බවට පත් වේ.

✍️ සඳුනි දිසානායක

Comments

Popular posts from this blog

මාධ්‍ය ආචාර ධර්ම කියන තරම් වැදගත් ද?

අලුත් content creatorsලගෙ වගකීම මෙන්න !